Monday, January 9, 2012

CARD HOLDER..

කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල මගී පාලම ඔබ කවුරුත් දන්නා ස්ථානයකි.අද මම පළමු හරස් විදිය හරහා සුපුරුදු රවුමෙන් පාලම නැග්ගේ ලයිසන් කවරයක් දැන්නම් නැතුවම බැරි බැවිනි.මගේ වාර ප්‍රවේශ පත්‍රය රැදුණු පරණ කවරය ඉරී කැබලි වී දැනට සති ගණනකි .දවස් කීපයක්ම පාලම උඩදි දැක්කත් යන ගමන් වල හදිස්සිය නිසාම තාමත් ගානවත් අහගන්නට බැරිවුන එකක් අදවත් ගත්තේ නැත්තම් මේක ගැනෙන්නේම නැති එක ෂුවර්ය.

ඔහු මැදිවියේ හීන්දෑරී මිනිසෙකි,මම එතනට ලංවත්ම පෙනුමට ටිකක් "පොෂ් " කොල්ලෝ දෙන්නෙක් card holder එකක් අරගන "Thank You " කියා තාලෙට කියා යන්නට ගියහ.(තමන් සල්ලි දී ගත් භාණ්ඩයට වෙළෙන්දාට තැනක් යූ කියන අරුමය නම් තාමත් මට නොතේරේ ,anyway ඒ පොෂ් අයගේ හැටි විය යුතුය ).මම ටිකක් ලංවී මේවා කියයි ඇසීමි.
"මේක 120යි.. මේකත් 120යි... business  card ,bank  card  ඕනේ එකක් දාන්න පුළුවන්.."
ඔහු කිවේ තිබුන හොදම ඒවා පෙන්නමිනි. ඇත්තටම ඒ "card holder" ය. මට ඕනේ උනේ පොඩිම එකකි, පෙනුමට යන්තම් තෝරලා ගත් එකේ ගාන ඇසුවිට මගේ මුණ ඇඹුල් විය.
"පැති දෙකේ එක 50යි "
ඒ කිව්වෙත් ඕනෙවට එපාවටය .( මම කලින් ගත්ත එක මීට හොද කවරෙකුත් එක්ක 20කට කොටුවේම තිබුණි . දැන් ඒවා හොයන්නවත් නෑ , රටකට ගිය කල ! )
" ගන්නවද ? "
"...නැහ් "

" යනවා යනවා ..  ගන්නෙත් නැත්තම්,  ආව මෙතන වද දෙන්න !  යනවා ඔයි "

මගේ අතේ තිබුව උදුරාගන්නටත් කලින් ඒ කට ඉස්සර විය. වික්ෂිප්ත වූ මට ලැජ්ජාව අතේ තිබු ෂොපින් බෑගයෙන් වසාගෙන ඉක්මනින්ම මාරු වන්නට සිදුවිය. " මේ මොන ක යන්නක්ද .... මු මන් මොකෙක් කියල හිතුවද ? .... නොදකින් අමන.." සිතුවිලි පෙළක් සැනෙකින් ගලා ආවත්, ගම්පහ හිගන්නාගේ කතාව මතක් වූ නිසා (ඒ කතාව පස්සේ කියන්නම් ) මම ආපසු හැරී බැලුවේ අනෙක් පැත්තේ පඩිපෙලත් ලගටම ගිහින්ය.තවමත් මු මා දිහා කන්න වගේ බලාගෙන ඉදියි. 

ඕනෑකමින්ම දුම්රිය අසුනක ඉදගත් මම කල්පනා ලෝකයට පිවිසීමි. පාසල් කාලයේ මිතුරන් සමග ඕනා තරම් මෙවැනි සිද්දි වලට මම මුහුණ දී ඇත.එත් ඒ පිටකොටුව ඇතුලේය , අනික මම එතන "රගන්නට" ගියේද නැත , සාමාන්‍යයෙන් තනිව සිටින මෙවැනි වෙළෙන්දන් අහිංසකය. සමහර විට ටිකකට කලින් සිදුවූ පොඩි ගනුදෙනුවේ රස්නය මගේ පිටින් ගියා විය හැක. මම කොච්චර පොෂ් නැති උනත් ඌ  මට කතා කරපු විදිහ වැරදිය. පදික වෙළෙන්දෙකුට නොතිබිය යුතු උද්දච්චකමක් හා ගනුදෙනු කරුවෙකුට කතා කරන්නට නොදන්නාකමත් ප්‍රත්‍යක්ෂය තිරශ්චින  කමත් එහි අඩු වැඩි ලෙස තිබුණි. ඔන්න මම එතන පැය ගණනක් කාලය කෑවනම් කමක් නැත. මෙව්වා කියද්දී මට වසර ගණනකට පෙර සිදුවුණු සිද්දියක් මතක් වුනි .

ඒ මං 7 වසරේදීය , ඒ කාලෙත් මම මේ වගේම දුප්පත්ය .අවුරුද්දක් විතර එකතු කරපු රුපියල් 6000 ක් අරගෙන සදුදා දවසක තාත්තත් එක්ක පිටකොටුවේ ආවේ  DVD ප්ලයෙර් එකක් බලන්නටය. ඒ කාලේ   DVD  player ආපු අලුත කඩේ එකක් 15000ක් විතර විය, කොටුවෙන් උනත් 6000 කට එකක් ගන්නට  තිබුනේ නම් බොහොම පොඩි සම්භාවිතාවක්. 8000 හේ 9000 හේ ඒවා බල බල ඇවිත් එක කඩයක් ගාව නතර උනේ එකේ අඩුම තිබ්බෙත් 7500 කටයි. මුස්ලිම් කඩයක් ! ටිකක් ඉතින් කේවල් කරලා කරලා අඩුම ගාන 7000ට බැස්සුවා කියමුකෝ , එත් ලග තියෙන්නේ 6000යි එහෙන් තාත්තාගෙන් ඥුරු ඥුරුව...
මට ඒ කාලේ  දැනුම් තේරුම් තිබුනේ නෑ 7 වසරේ නිසා , ගත් කටටම කියවුනේ "6000යි අතේ තියෙන්නේ" කියල. වෙන කඩේකනම් "ගහලම පන්නන්නවා ". ටිකක් සද්ද නැතුව හිටපු අපිට ඊට පස්සේ එක එක  CD ප්ලයෙර් තමා ඊළගට බලන්න උනේ.එත් ඒ කාලේ දන්නවනේ... "පොඩි උන්" , දෙයක් ඕනේ නම් ඒකම තමා ඕනේ .. 
වෙන මිනිස්සුත් ඇවිත් බඩු ගන්න අතරේ සැහෙන වෙලාවක් එතන ලතවුන මම යන්න හදද්දිම තමයි 
"6000ට ඒක දෙන්නම් business  එක කරමු" කිව්වේ.
වෙන කඩේක  නම් ගැරන්ටි  තියන නිසා බඩු check  කරලා පෙන්නනවත් අඩුයි.එත් මේ කඩේනම් සේරම කොටස් එලියට අරන් මට කෑලි හයි කරගන්න විදිහත් කියලම දුනි. එදා සතුටින් ඒ ප්ලයෙර් එක මම ගෙදර අරන් ගියෙමි.(කොහොම ගණන් හැදුවත් ඒ කාලේ හැටියටනම් පාඩුවක් මිස එයින් රුපියල් 100ක වත් ලාබයක් ඔවුන්ට වුනා විය නොහැකිය.)
මාස 6 කට විතර පසු ප්ලයෙර් එක කැඩුනි.ඔවුන් දී තිබු දුරකථන අංක කිසිවක් වැඩ  නොකළේය. ගිහින් බැලූ විට කඩයද අතුරුදහන්වී තිබුණි.හොද වෙලාවට ගෙවල් ගාවින් රුපියල් 50 කට මෝටරයක් දා ගැනීමෙන් දෝෂය නිවාරණය විය.මීට අවුරුද්දකට විතර කලින් ගෙදරට අකුණක් ගසා අනිත් විදුලි බඩුත් සමගම එය අවසන් ගමන් ගියේය.

මේවා ගැන වැඩිදුරටත් කල්පනා කිරීමෙන් මට මෙසේ සිතෙයි.වර්තමානයේ මුස්ලිම් කඩ වර්ජනයට පිරිසක් සැරසෙයි , ඒ විතරක් නොව සිංහල කඩවලින් බඩු ගන්නටයි බල කරන ඉන්ටෙර්නෙට් වීරයෝද අපමණය .නමුත් පළමු සිදුවීමේ වෙනත් ජවනිකා අත්දුටුවන් අප අතර කොපමණ නම් ඇතිද ? සිංහලයා සිය පුහු මානය , උද්දච්චකම හා මෝඩ කම වපුරන තාක් කල් අපිට මුසල්මානුවන් වෙළදාමෙන් පැරදවිය හැකිද ? මුසල්මානුවන් සහජයෙන්ම වෙළදාමට දක්ෂය .එය ඔවුන්ගේ කපටිකම යයි කීමට තරම් මම කුහක නොවෙමි.පරිබෝගිකයාට හොදින් සලකන වෙළෙඳසල වෙත පාරිබෝගිකයා ඇදී යනු ඇත. කෙනෙකුගේ හැකියාව හා දක්ෂකම වයිරයෙන් හා කුහක කමින් යටපත් කල නොහැක .එයින් සිදුවන්නේ තවත් ලේ වැගිරුමකට අත වැනීම පමණි. අප කවුරුත් මරණයට බයයි , නිදහසට කැමතියි.

නියම බෞද්දයා , සිංහලයා සිදුකල යුත්තේ ගැටීම නොව බුදුන් දෙසු දහම පිළිපැදීමයි.කෙනෙකුට තමන් කැමති ආගමක් ඇදහීමට ඇති අයිතිය පරිබෝගිකයාට තමන් කැමති භාණ්ඩයක් මිලදී ගැනීමේ අයිතියටත් වඩා ඉහලය.එබැවින් මගේ අදහස තවදුරටත් ජාතිවාදය පතුරවා පලක් නැත.සිංහල හෝ මුසල්මානු අපි කවුරුත් ඉපදුන මේ බිම අප හැමටම අයිතිය.එත් ! .. ඔව ඔබට තවදුරටත් ප්‍රශ්නයක් තිබේනම් එයට බුදුන් වහන්සේ මේ පිළිතුර ඉතිරි කර ඇත ... 



පසුවදන : 
සමහරක් විට ඔබ කොළඹ කොටුවෙන් යනෙන විටක මම කියූ මිනිසා මුණගැසෙනු ඇත .මම ඔහුට ක්‍රෝධ නොකරමි ( කලෙමි , තව දුරටත් නොකරමි ) .ඔහු මෙන්ම පසුව කියූ අතුරුදහන් වූ කඩයේ මිනිසුන්ද මේ කටුක ලෝකයේ අසීරු ජිවන අරගලය කරන්නෝ වෙති.ඔවුහු අපරාධ නොකරති , පොඩි වෙලදාමකින් ජිවත් වෙති.සමහර විට අර මිනිසා තව ටික වෙලාවකින් පදමට වෙරි වී ගෙදරත් නොගොස් කාණුවක රැය ගත කරන්නට ද ඉඩ ඇත.එසේම රෑ වෙනතුරු දහදුක් විදිමින් සොයන සොච්චමෙන් ගෙදරට කෑම ටිකත් , දරුවන්ගේ වියදමට මුදලුත් රැගෙන බස් රථයක හෝ දුම්රියේ පාපුවරුවේ ගෙදර යනවා ද විය හැකිය.එය මම නොදනිමි.මම දන්නා එකම දෙයනම් මේ ජිවිතයේ අපි ඔහුට වඩා දහස් ගුණයක් වාසනාවන්ත බව පමණි.එබැවින් ඔබ ඔහුගෙන් වැරදිලා හෝ යමක් ගත්තොත් මා වෙනුවෙන් ඔහුට "පොෂ්" Thank You එකකින් සංග්‍රහ කරන්න .ඔහු සතුටට පත්වේවි ...